
ඔලිම්පික් ඉතිහාසය, ටෝකියෝ සහ අපේ බලාපොරොත්තුව
2021 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වන්නට තව ඇත්තේ පැය කිහිපයක් පමණි. පසුගිය වසරේ (2020) ජූලි 24 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වෙන්නට නියමිත ව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් කල් දැමුවේ, COVID-19 වසංගතයේ සීඝ්‍ර පැතිරීම නිසයි. නමුත් සීමා වලට යටත් ව මේ වසරේ දී ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන්නට අවසානයේදී ඔවුන් තීරණය කරන ලදී . මේ සටහන ඔලිම්පික් උලෙළ මෙතෙක් ආ ගමන් මග පිළිබඳවයි.
ලෝකයේ කා අතරත් අන්තර්ජාතික ක්‍රීඩා උළෙලක් ලෙස ප්‍රචලිත වු ඔලිම්පික් හි මූලාරම්භය ආගමික උත්සවයක් පදනම් ව සිදු වූවකි. ග්‍රීසියේ ඔලිම්පියා නමින් හඳුන්වන සිද්ධස්ථානයේ ග්‍රීක දෙවි දේවතාවන් ගේ පියාණන් යැයි විශ්වාස කරන සියුස් (Zeus) දෙවියන් වෙනුවෙන් පැවැති ආගමික උළෙලට ක්‍රීඩා ද අයත් ව තිබූ බවයි මූලාශ්‍ර වල සඳහන් වන්නේ. එවකට ග්‍රීසියේ ඔලිම්පියා හීදී පැවති මේ ක්‍රීඩා සඳහා සහභාගී වන්නට අවස්ථාව ලැබී ඇත්තේ පිරිමි ක්‍රීඩකයන්ට පමණි. ග්‍රීක විශ්වාසයන්ට අනුව ග්‍රීසියේ පිහිටි ඔලිම්පස් (Olympus) කන්ද ග්‍රීක දෙවි දේවතාවන් ගේ නිවහනයි. ඔලිම්පස් කන්දේ නම පදනම් කරගෙන ක්‍රීඩා උලෙළට ඔලිම්පික් යන නම ලැබුණු බව අදට පවතින මතයයි.
ආදී ඔලිම්පික් ක්‍රීඩා වල ආරම්භය ක්‍රි.පූ 776 තරම් ඈතට දිවයන්නක් බව කියැවේ. නමුත් ඇතැම් මූලාශ්‍ර එය ඊටත් එපිට, එනම් ක්‍රි.පූ දහවන හෝ නවවන සියවස් වල ආරම්භ වූවක් බවට සාක්ෂි දරයි. කෙසේ වෙතත් පළමු නූතන ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන්නේ ක්‍රි.ව 1896 දී ග්‍රීසියේ ඇතැන්ස් නුවර පැවැති ක්‍රීඩා උළෙලයි. ඔලිම්පික් උළෙලට ඔලිම්පික් ගිනි සිළුව එකතු වන්නේ ක්‍රි.ව 1928 දීය. නූතන ඔලිම්පික් ගිනි සිළුව අතින් අත යවමින් දිව යෑමේ සම්ප්‍රදාය ආරම්භ වුණේ ක්‍රි.ව 1936 හි බර්ලින් නුවර පැවැති ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදීය.

(https://www.worldhistory.org/image/426/stadium-entrance-olympia/)
මේ වසරේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිත්ව ඇත්තේ, 29 වන ගිම්හාන ඔලිම්පික් උළෙලයි. 2013 වසරේ ආජන්ටිනාවේ දී පැවැති අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ 125 වන සැසිවාරයේ දී, 2020 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරක නගරය ලෙස ටෝකියෝ නුවර තෝරාගනු ලැබිණි. ඒ අනුව ජපානය ගිම්හාන ඔලිම්පික් උළෙලක සත්කාරකත්වය දරන දෙවන අවස්ථාව මෙයයි. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අලුතින් හඳුන්වාදෙන ක්‍රීඩා අතරට, කරාතේ, Sport climbing, සර්ෆින් (surfing), ස්කේට්බෝඩ් පැදීම (skateboarding) අයත් වේ. එමෙන්ම, බේස්බෝල් සහ සොෆ්ට්බෝල් යන ක්‍රීඩා 2008 වසරෙන් පසුව යළි පළමු වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එකතු වන්නේද, මෙවරයි.
COVID-19 වසංගතයේ අවදානම මධ්‍යයේ පැවැත්වෙන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට විශේෂ සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රියා පිළිවෙත් අන්තර්ගතකර ඇත . සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, සෞඛ්‍යාරක්ෂක ක්‍රියා පිළිවෙත්, මුඛ ආවරණ පැළඳීම, මත්පැන් හල්, අවන්හල්, වෙළඳසැල් සහ අනෙකුත් විදේශ සංචාරක ස්ථාන තහනම් කිරීම මේ අතරට අයත් ය.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම කුසලතා පූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන් පිහිනීම, ජූඩෝ, ජිම්නාස්ටික්, බැඩ්මින්ටන්, මළල ක්‍රීඩා, වෙඩි තැබීම සහ අශ්වාරෝහක යන ක්‍රීඩා අංශ 7 නියෝජනය කරනු ලබයි. යුපුන් අබේකෝන්, නිමාලි ලියනාරච්චි සහ ටෙහානි එරන්දි මළල ක්‍රීඩා අංශය නියෝජනය කරන අතර, නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන්ද , මිල්කා ගෙහානි ජිම්නාස්ටික් අංශයෙන්ද , මැතිව් අබේසිංහ සහ අනිකා ගෆූර් පිහිනුම් ක්‍රීඩාවෙන්ද, මැතිල්ඩා කාල්සන් අශ්වාරෝහක ක්‍රීඩා අංශයෙන් ද, චාමර නුවන් ධර්මවර්ධන ජූඩෝ ක්‍රීඩාවෙන්ද මෙවර තරගාවලියට පෙනී සිටියි.
මේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට තම හැකි උපරිමයෙන් දක්ෂතා දක්වා, පදක්කම්ලාභීන් වන්නට හැකියාව ලැබේවා යන්න ශ්‍රී ලාංකික අපගේ ප්‍රාර්ථනයයි.
සටහන
Rtr. රිවිශානි චන්ද්‍රසේකර
